දිව්‍ය සත්ප්‍රසාදයේ ජීවමාන ජේසුස් වහන්සේට යාච්ඤා
ආරම්භක යාච්ඤාව
පරලෝක භුලෝක මන්නාවෙනි, ස්වර්ගයෙන්
පහලවු ජීවනදායක පූපයෙනී, පාපිවූ අපි,
ඔබවහන්සේට වැඳ නමස්කාර කරමු.
ඔබවහන්සේගේ
ප්‍රේමය අසීමිතය, යහපත්ය, උතුම්ය. ඔබවහන්සේ සදාකාලයටම මෙම දිව්‍ය සත්ප්‍රසාදය තුළ
ස්ථිර වශයෙන් ම වැඩ සිටින බව අපි තරයේ විශ්වාස කරමු. ඒ බව සනාථ කිරීමට ඔබ වහන්සේ
පෑ ප්රාතිහාර්යන් එමටය. සත්ප්‍රසාදිය දිව්‍ය ජේසුස් ස්වාමිනි, ඔබ වහන්සේ කෙරෙහි
අප තුළ ඇති විශ්වාසය තව තවත් වැඩි කළ වදාළ මැනව.
ඔබ වහන්සේට
ප්රසංශාවත්, ගෞරවයත්, මහිමයත් සදාකාලයෙන් සදාකාලයට හිමිවේවා.
මුළු
ලෝකය වෙත පෑ ආදරය නිසා මිල කළ නොහැකි ඔබවහන්සේගේ ජීවිතය අප උදෙසා කුරුස
ගසේදී බිලිදුන් පසුත්, ඔබවහන්සේගේ ඒ දුක් වේදනා ගැන මිනිසුන් නොදැන පාපයේ වැටී
සිටිතියි කියා, දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කර, අප උදෙසා රෑ දහවල් නොලබා ඒ තුළ වැඩ
සිටින දිව්‍ය හෘදයෙනී, කරදරයෙන් පිරි කඳුලින් යුතුව ද, වේදනාවෙන් පිරි කැඩී බිඳි
ගිය හදවතින් යුතුව ද, මාර්ගය නොදන්නා බාලයන් ලෙස, පාපිවු අප, ඔබවහන්සේගේ ආදරණීය
දිව්‍ය සත්ප්‍රසාදය වෙතට දැන් පැමිණ, වැටී සිටින්නෙමු. අහෝ! දයාවෙන් පිරි හදවතක්
ඇති ජේසුතුමෙනී, අපගේ කඳුළු පිසදමන්නට කවුරුත් නැත. අපගේ දුක අසන්නට කවුරුත් නැත.
දැරිය නොහැකි වේදනාවක් හා පරීක්ෂාවන් දරාගෙන, ඔබවන්සේගේ පාමුලට පැමිණ අපි අඬා
වැලපෙන්නෙමු. අහෝ ප්‍රේමණීය සමිඳාණනී, ප්‍රේමණීය ගැලවුම් කරුවාණනී, ආදරය නිසා ඉපද,
ආදරය නිසා හැදී වැඩී, ආදරය නිසා දුක්විඳ, ආදරය නිසා කුරුස ගසේ ඔබවහන්සේ දිවි
පිදුවා නොවේද? ජේසුනී, ආදරය කරන්නට අපට වෙන කිසිවෙකුත් නැති බව පවසමින් ඔබවහන්සේගේ
දිව්‍ය හෘදය අසල අපි පෙනි සිටින්නෙමු.
දයාවෙන්
පිරි දිව්‍ය හෘදයෙනි, ශෝකයෙන් සිටිනා අප දෙස බැලුව මැනව. අවසාන ශ්‍රී ලේ බිංදුව
පවා අප උදෙසා වැගිරෙව්වා වූ ජේසුනී, අප උදෙසා මල් උයනේදී දුක් වින්දාවූ ජේසුනී,
දිව්‍ය සත්ප්‍රසාදයෙහි ජේසුනි, ඔබවහන්සේගේ දිව්‍ය හෘදයට නිතර නිතර කරදර කරන්නාවූ
අප, වෙන කා ළඟට යම්ද? ඔබවහන්සේ හැර අපව සනසන්නට වෙන කව්රුවත් සිටිත්ද? අපගේ
රැකවරණයත්, විශ්වාසයත් ඔබවහන්සේ පමණයි.
අහෝ දයාවේ දිව්‍ය හෘදයෙනි, අප දෙස බැලුව මැනව. අපගේ පවුල් බැලුව මැනව. අපට
ඇති දුක් කරදර නැතිකළ මැනව. ඔබවහන්සේගේ සැනසීමත් රැකවරණයත් ලැබීමට අපි ඔබවහන්සේ
වෙතට ආවෙමු. අප වෙත කරුණා කළ මැනව. ඔබවහන්සේගේ කැඳවීමට පිටුපා යන්නන්ට ඔබවහන්සේ
වෙතට පැමිණීමට වරම් දුන මැනව. ඔබවහන්සේගේ දයාව පාන්නාවූ අපට දයාවුව මැනව. හදවතේ සැනසීම
නොමැතිව ඔබවහන්සේ වෙතට පැමිණි අපව සැනසුව මැනව. ලෙඩවූවනන්ට ඔබවහන්සේගේ ආශිර්වාදය
ලබා දුන මැනව. ඔබවහන්සේගේ ආදරය බලාපොරොත්තුවෙන් පැමිණෙන්නන්ගේ කඳුළු පිසදැමුව
මැනව. ඔබවහන්සේගේ දිව්‍ය හෘදයට ලෝකය ගරු කිරීමටත්, එම භක්ති අභ්‍යාසය තව තවත් වැඩි
වර්ධනය වීමටත් සැලසුව මැනව. ඔබවහන්සේගේ දයාවේ ඉල්ලීමට සවන් දී ඒ අනුව ජීවත් වීමට
අපගේ යැදුම් කරුණාවෙන් ඇසුව මැනව.
දිව්‍ය
සත්ප්‍රසාදයේ වැඩ සිටින දිව්‍ය සිරකරුවාණෙනි, සෑම වරප්රසාදයේම උල්පත ඔබ වහන්සේ වන
සේක. අපේ උවමනාවන්, අසහනකාරී අවස්ථාවන් හා අනතුරු වලදී සහනය පතා ඔබ වහන්සේගේ
පාමුලට පමණක් දුව ඒමට ඔබ වහන්සේ කෙරෙහි දැල්වෙන ප්‍රේමයක් අප තුළ ඇති කළ මැනව. ඔබ
වහන්සේගේ දිව්‍යමය ආහාරයෙන් තෘප්තිමත් වීමට සාපිපාසාවක්ද, ඔබ වහන්සේගේ වචනයට
අනුකූලව, එම ස්වර්ගීය භෝජනයෙන් පෝෂණය වී සදාකාලික සැපත භුක්ති විඳීමට ආශාවක් ද අප
තුළ ඇති කළ මැනව. පාපිවූ අප ඔබවහන්සේගේ දිව්‍ය හෘදයට පඬුරක් ලෙස ඉතා බැහැපත්ව
ඔප්පුකිරීමට යන මෙම ශුද්ධවූ පැය කරුණාවෙන් බාර ගත මැනව. සදාකාලික පියාණනි, අපගේ
ජීවිත කාලය පුරා අප කළා වූ පාපවලට ප්‍රතිකාරයක් වශයෙන්, ජේසුතුමන්ගේ දිව්‍ය
හෘදයත්, එහි ස්නේහයත්, දුක්ගාවිනාවලුත්, ඔබවහන්සේට අපි ඔප්පු කරමු. ආමෙන්.
අවසාන යාච්ඤාව
මෙමෙ දිව්‍ය සත්ප්‍රසාදයේ වැඩ
වසන දිව්‍ය ජේසුනී, ඔබ වහන්සේ අප අමතනවා අපට මෙසේ ඇසුනි.
“මා වෙත එන්න, ඔබ
පිළිසිඳුණු මොහොතේ පටන්, ඔබ මෙලොවට බිහිවන්නටත් පෙර පටන්, මම ඔබගේ නම දනිමි. මම
ඔබට ආදරය කළෙමි. හැම මොහොතේම ආදරය කළෙමි. බර උසුලන්නාවූ ඔබ මා වෙත එන්න. මම ඔබගේ
වෙහෙස සංසිඳුවමි. මා සමඟ සිට මට ඇහුම්කන් දෙන්න. මේ මාගේ ගෘහයයි, එන්න, මම ඔබව
ආදරයෙන් පිළිගනිමි. මට ඔබව අතීශයෙන් අවශ්‍යයි. ඔබ මාගේ ආදරය අත්දකිනු දැකීම මාගේ
ආශාවයි. මාගේ ආදරය, සියළු වෛරයන්, අහංකාරයන්, පාපයන් යන සියල්ලම දවන ගින්නක් බඳුය.
මම ඔබගේ ජීවිතය සාමයෙන් හා සතුටින් පිරවීමට ආශාවෙමි. මෙන්න මම ඔබ ඉදිරියේ මගේම
නිවසෙහි සිරගතව සිටිමි. මාව ඔබ සමඟ ඔබගේ හද තුලට ගෙන, ඔබගේ නිවසට, පාසැලට,
කාර්යාලයට හෝ ඔබ සිටිනා තැනට ඔබ සිටිනා විදිහට ගෙන යන්න. මට ඔබගේ හස්ත, පාද, කටහඬ
සහ හදවත අවශ්‍යයි. ඒවා මට අවශ්‍ය වන්නේ තුවාලවූ ලෝකයට මාගේ ආදරය ගෙන යාම සඳහායි.
කරුණාකර මාව ඔබගේ හදවතට ගන්න.”
ස්තුතියි! දිව්‍ය
සත්ප්‍රසාදයේ වැඩ වසන දිව්‍ය ජේසුනී, ඔබවහන්සේගේ ආරාධනාව ඉතාමත් ආශාවෙන් හා ගෞරවයෙන්
අපි පිළිගනිමු. ස්වාමිනී! ඔබවහන්සේ අපට කළ, ඔබවහන්සේ අපට දුන් සියළුම වරප්‍රසාද
සඳහා ඔබවහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. විශේෂයෙන්ම ඔබවහන්සේව මෙම අල්තාරයේ දකින
විට, ඔබවහන්සේගේ ප්‍රේමය ගැන මට කිසිම සැකයක් නැත. ස්වාමිනී! ඔබවහන්සේ ගැන මාගේ
දැනුමේ ප්‍රමාණය වැඩි කරන්න. එවිට මට ලෝකයාගේ
අවශ්‍යතාවයන් යාච්ඤා තුලින් ඔබවහන්සේ වෙත ගෙන ආ හැකිය. මහා ජන සංඛ්‍යාවක්
පෝෂණය කළ දෙවි ස්වාමිනී, සාගින්නෙන් සහ ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන්නන්ට දයාව පෑ
වදාල මැනව. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඔබවහන්සේගේ කරුණාවෙන් සංසිඳුව මැනව.
ඔබවහන්සේ ලෝකයට
ජීවනය සහ සාමය දීමට පැමිණියත් දැන් මා වටා මට පෙනෙන්නේ අධික වේදනාව, සහාසික අපරාධ,
ලේ වැගිරීම් සහ ව්‍යසනයන්ය. එතරම් අධික වේදනාවෙන් සහ බලාපොරොත්තු සුන්වූ හැඟීමෙන්
අපව මුදාගත හැක්කේ ඔබවහන්සේටම පමණක්මය. ස්වාමිනී! සාතන්ව පලවාහැරියේ ඔබවහන්සේම
පමණක්ය. ඔබවහන්සේ සොහොනින් නැගිට මරණය ජය ගත්සේක.
මෙම පුජාසනය මත
ඔබවහන්සේගේ බලය නොඅඩුව පවතී. ඔබවහන්සේගේ ප්‍රේමය බලවත්ය, සදාකාලිකය. අපව සුවපත් කළ
මැනව. ක්ෂමා කළ මැනව. නිදහස් කළ මැනව. ඔබවහන්සේගේ ප්‍රේමයේ බලයෙන් සියළුම කෝපයන්
සන්සුන් කළ මැනව. සියළුම වේදනාවන් සුවපත් කළ මැනව. යුඬායුධ සියල්ලම නිහඬ කළ මැනව.
නපුරාගේ දුෂ්ටකම් සහ හිරිහැර මේ පොළොවෙන් පලවා හැරිය මැනව. ස්වාමිනී! ඔබවහන්සේගේ
ජනතාව මුදාගත මැනව.
අවසාන වශයෙන් ප්‍රේමණීය
ගැලවුම් කරුවාණනි, දිව්‍ය හෘදයෙනි, දිව්‍ය සත්ප්‍රසාද වහන්ස අප මෙම ශුද්ධවූ පැය
ඔබවහන්සේගේ දිව්‍ය හෘදයට පඬුරක් ලෙස ඔප්පුකර, නැවත පැමිණෙන තුරු, ඔබවහන්සේගේන්
වෙන්වන්නට සිටින බැවින් ඔබවහන්සේගේ බලවත්
වු හස්තයේ බලවත් වූ ආශිර්වාදය අප වෙත ලබා දෙන ලෙස ඉතා බැහැපත් ව ඉල්ලා සිටිමු. එම
බලවත් ආශිර්වාදය අප වෙතත් අපගෙන් යුත් සැම දෙනා වෙතත් ලැබෙන්නට සැලැස්සුව මැනව.
ආමෙන්.
මෙම දිව්‍ය සත්ප්‍රසාදයේ
වැඩ වසන දිව්‍ය ජේසුනී! ඔබවහන්සේට මහිමය ද, ගෞරවය ද, ප්‍රශංසාව ද, ස්තුතිය ද
සදාකාලයෙන් සදාකාලයට හිමිවේවා!
පරලෝක භුලෝක
මන්නාවෙනි, ජීවනදායක පූපෙනී, පාපිවූ අපි, ඔබවහන්සේට වැඳ නමස්කාර කරමු. ආමෙන්